බීරලු රේන්ද කර්මාන්තය - Beeralu Lace Industry

බීරලු රේන්ද කලාව

 බීරලු රේන්ද ගෙතීමේ කලාව මෙරට කර්මාන්තයක් ලෙස ස්ථාපිත වූයේ පෘතුගීසි සමයේදී ය. වර්තමානයේ දී දකුණේ වෙරළ බඩ ප්‍රදේශවල මෙම කලා කර්මාන්තය පවතී.

ඉතිහාස සාක්ෂි වලට අනුව බීරලු රේන්ද ගෙතීමේ කලාව පෘතුගීසි කාන්තාවන් විසින් මෙරට කාන්තාවන්ට පුරුදු කර ඇත. පසුව පැමිණි ලන්දේසි කාන්තාවන්ද රේන්ද අල්ලා මැසූ ඇඳුම් ඇඳීමට දැක්වූ කැමැත්ත නිසා මෙම කර්මාන්තය තව තවත් ප්‍රචලිත විය. 'බීරලු හා රේන්දයන වචන දෙකම පෘතුගීසි භාෂාවෙන් එකතු වූ වචන වේ.

 

රේන්ද ගෙතීම සඳහා භාවිතා කරන උපකරණය හඳුන්වන්නේ 'රේන්ද කොට්ටයලෙසය. එහි කුඩා බැරලයක් වැනි කරකැවිය හැකි කොටසක් සවිකර තිබේ. කලින් සැලසුම් කර ගන්නා මෝස්තරය සහිත "ඉස්බීසලය" නමින් හැඳින්වෙන සටහන මේ බැරලයේ සවිකර අවශ්‍ය තැන් වලට අල්පෙනෙත්ති සවි කරමින් මෙය වියනු ලැබේ. අතේ හුරුවෙන් නූල් පටලවමින් සිදු කරන මේ වියනේ දී ඉතා අලංකාර විවිධ හැඩැති බීරලු නිර්මාණ බිහි වේ.

 

මෑත කාලයේදී මෙම කර්මාන්තය බොහෝ දුරට සංචාරක කර්මාන්තය මත යැපෙන හස්ත කර්මාන්තයක් බවට පත්ව ඇත. ඊට හේතු වී ඇත්තේ බීරලු රේන්ද මිලට ගන්නෙ විදේශීකයන් හා ධනවත් කාන්තාවන් පිරිසක් පමණක් වීමය. විශේෂයෙන් ම රුසියාව ඇතුළු විදේශ රටවල කාන්තාවන් මෙම රේන්ද නිර්මාණ වලට ඇලුම් කරයි.

මෙම කර්මාන්තයට විශාල තර්ජනයක් වී ඇත්තේ යන්ත්‍ර භාවිතයෙන් නිම කරන රේන්දයි. ඊට හේතුව යන්ත්‍රානුසාරයෙන් නිර්මාණය කරන රේන්ද අත් රේන්ද වලට වඩා අඩු මුදලකට විකිණීමයි. එමෙන්ම මෙම රේන්ද ගෙතීමට අවශ්‍ය වන නූල් සපයා ගන්නේද ඉන්දියාව ඇතුළු රටවල්වලින් මිලදී ගෙනය. ඒ සඳහා වන මුදල් ප්‍රමාණයත්එම වියදම් නිර්මාණයට එකතු කිරීමෙන් සමස්ත මිල දැක්වෙන බැවින් එම මිලට දේශීය ගනුදෙනුකරුවන් ආකර්ෂණය නොවීමත් හේතු වී ඇත.

 

මියැදෙන්නට යන මේ කලා කර්මාන්තය රැක ගැනීමෙන් හා ප්‍රචලිත කිරීමෙන් සංචාරක කර්මාන්තය තුළින් මුදල් ඉපයීම තවත් පුළුල් කිරීමට හැකි වේ.





Comments